Friday, 21 April 2017

දියුණු රටක කසල කළමනාකරණය -Waste management

ක්‍රියාත්මක කරන අයට ගන්න - අනිත් අයට දැනගන්න..
නිවෙස්වලින්, කාර්යාලවලින්, කර්මාන්තශාලාවලින් ඉවත් කරන ඝන අපද්‍රව්‍ය නිසි ලෙස ඉවත් කිරීම හැම රටකටම අභියෝගයක්. ඒ අභියෝගයට සාර්ථකව මුහුණ දෙමින් සිටින රටක් වන කැනඩාවේ ඉවතලන අපද්‍රව්‍ය කළමනාකරණය ගැන තොරතුරු මේ ලිපියෙන් ගෙන එන්න හිතුවේ කාලීන අවශ්‍යතාවක් හැටියට. මේවා මේ විදියටම නොවුනත් ආදර්ශයක් ලෙස ගෙන, නිසි ලෙස අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රම අපේ රටට උචිත විදියට සකස් කරගැනීම එතරම් අපහසුවක් නැහැ උනන්දුවක්, උවමනාවක් තියනවනම්.
පරිසරය රැකගැනීම යටතේ ජාතික මට්ටමේත්, ප්‍රාන්ත මට්ටමේත්, නගරසභා මට්ටමේත් වගකීමක් වන මෙහි සෑම තලයකටම කසල කළමනාකරණය පිලිබඳ නීතිමය බලයක් ද ඇත.

මෙහිදී ප්‍රධානම හා වැදගත් දේ අපද්‍රව්‍ය වර්ග කිරීමයි.
අපද්‍රව්‍ය ප්‍රධාන ලෙස වර්ග හයයි.
1. කොළ පාට බඳුන්  - ඉවත  දමන ආහාර හා      කාබනික ද්‍රව්‍ය.: Organic
2. නිල් පාට බඳුන්   - ප්‍රතිචක්‍රීකරණය කල හැකි ද්‍රව්‍ය :Recycling
3. අළු පාට බඳුන් - ඉහත දෙකට අයත් නොවන නිවෙස්වලින් ඉවත්කරන අපද්‍රව්‍ය :Garbage
4. වත්තේ කොළ රොඩු ආදිය :Yard Waste
5. ඉලෙක්ට්‍රොනික උපකරණ : Electronic Waste
6. නිවෙස්වල භාවිතා කර ඉවත්කරන පරිසරයට අනතුරුදායක අපද්‍රව්‍ය :Household Hazardous Waste

අදාළ අපද්‍රව්‍ය සරලව මෙසේය.
1. කොලපාට බඳුන්: ඉතිරිවූ ආහාර, එළවලු පලතුරු ලෙලි, බිත්තර කටු, ආහාර ගෑවුනු සිනිදු කඩදාසි, භාවිතා කළ tea bag, තේ හා කෝපි මන්ඩි, සත්ව වසුරු, මල්, පස්
2. නිල්පාට බඳුන්: නොබිඳුණු බෝතල්, ප්ලාස්ටික්, ඇදෙන සුළු මෘදු පොලිතින්, ලෝහ, කඩදාසි, කාඩ්බෝඩ්, රිජිෆෝම් පිඟන්, කෝප්ප, පොලිස්ටයිරින්.
පන්තියක කසල බඳුනක් 
3. අළුපාට බඳුන් : කලුපාට ප්ලාස්ටික්, ඇලුමිනියම් ෆොයිල්, බබල් රැප්( විදුලි උපකරණ වටේ එන), බිඳුණු විදුරු භාජන, කැඩුණු ලි බඩු,  ඉවර වූ පෑන්, පොලිතින් ආහාර දවටන, ප්ලාස්ටික් හැඳි ගෑරුප්පු, හිසකෙස්, නිය
4. වත්තේ කොළ රොඩු:  නියමිත බඳුනක් නැත. ගස් අතු කුඩා කොටස් වලට කඩා විශාල කඩදාසි කවර හෝ අඬු සහිත පෙට්ටියක දමා තැබුවිට ගෙනයයි.
5. ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය: පරිගණක, දුරකථන, කී බෝඩ්, TV, කැමරා, ස්පිකර්  ආදී දේ භාරගන්න මධ්‍යස්ථාන ඇත. බැටරි ඉවත්කරන ලද උපකරණ, අළු පාට බඳුන් ගෙනයන දිනයට වෙනම පෙට්ටියක දමා හෝ පෙනෙන සේ බිමින් තැබුවිට ගෙනයයි.
6. අනතුරුදායක අපද්‍රව්‍ය: මෙයට අයත්වන්නේ විෂ ද්‍රව්‍ය, ගිනිගන්නා ද්‍රව්‍ය, පුපුරන ද්‍රව්‍ය, විඛාදනය විය හැකි ද්‍රව්‍ය. එනම්, වාහන වල ඔයිල් ෆිල්ටර් වැනි නිෂ්පාදන, තෙල්වර්ග සහිත බඳුන්, ඖෂධ, ඉවිමෙන් පසු ඉතිරිවන තෙල්,මධ්‍යසාර සහිත ක්‍රීම් වර්ග, තීන්ත සහිත බඳුන්, පොලිෂ් බඳුන්, බැටරි වර්ග, කෘෂි රසායන, කෘමි නාශක බඳුන්,ෆ්ලොරසන්ට් ටියුබ්, ගෑස් ටැංකි, ටයර්  ආදිය.
මේවා භාරගන්න මධ්‍යස්ථානවලට ගොස් භාරදිය යුතුයි. 10kg ට වඩා වැඩි ප්‍රමානයක් ඇත්නම් විශේෂ සේවාවකට කතා කිරීමෙන් ගෙනයාමේ පහසුකම් ලැබේ.

සෑම නිවසක් තුලම 1,2,3 වර්ගවල අපද්‍රව්‍ය සඳහා වැසිය හැකි කුඩා බඳුන් වෙන වෙනම තිබිය යුතු අතර, තනි නිවෙස් සඳහා නිවසෙන් පිටත විශාල බඳුන් තිබිය යුතුයි. නිවෙස් සමුහයක් තිබෙන ගොඩනැගිලි සඳහා සහ පාසල්, කාර්යාල, කම්හල් ආදිය සඳහා අති විශාල බඳුන් ගොඩනැගිල්ලෙන් පිටත තැබිය යුතුයි. මේ සියලු බඳුන් එකම ප්‍රමිතියකින් යුක්තයි. රැගෙන යාමට එන වාහනවලට පහසුවෙන් පරිහරණය කළහැකි සේ සකසා තිබේ. 

1,2,3,4,5 එකතු කිරීම සඳහා වෙනම ට්‍රක් රථ පැමිණේ. ආහාර හා කාබනික ද්‍රව්‍ය සතිපතා එකතු කරන අතර නිල් බඳුන් හා අළු පාට බඳුන් සති දෙකකට වරක් එකතු කරයි. වත්තේ කොළ රොඩු එකතු කරන්නේ අළු පාට බඳුන්වල කසල ගෙනයන දවසටමයි.
අපද්‍රව්‍ය එකතුකරන දින සඳහන් වාර්ෂික දින දර්ශනය මගින් දන්නා නිසා අදාළ දිනට පෙර දින රාත්‍රී නිවස තුල තිබෙන බඳුන් පිටත බඳුන්වලට හිස් කර, එකතු කිරීමට නියමිත බඳුන් පාර අයිනේ තැබීම කලයුතු වෙනවා.
අදාළ ට්‍රක් රථය පැමිණ බඳුන්වල කසල එකතු කරගන්න අයුරු වීඩියෝව බලන්න. එහි ගෙනයන්නේ එක වර්ගයක අපද්‍රව්‍ය පමණයි.


අපද්‍රව්‍ය වර්ග කිරීම ගැන  මහජනතාව දැනුවත් කිරීමට නොයෙක් ක්‍රම උපයෝගී කරගනී.
  • අපද්‍රව්‍ය එකතු කිරීම් වාර්ෂික දින දර්ශනයේ අපද්‍රව්‍ය වර්ග කිරීම විස්තරාත්මකව පළකර ඇත.
  • පාසල්, කාර්යාල, හෝටල්, පොදු ස්ථාන ආදී හැමතැනම වර්ග කරන ලද කසල බඳුන් තැබීම.
  • දැනුවත් කිරීමේ  වැඩසටහන්, අත් පත්‍රිකා, පොත් පිංච මගින් නිතර මහජනතාව දැනුවත් කිරීම.
  • පාසලේ විවිධ විෂයයන් යටතේ මේ ගැන සාකච්ඡ කිරීම 
  • පාසලේ සෑම පන්තියකම කසල වර්ගීකරණය ගැන පෝස්ටර් තිබෙන අතර කසල වර්ග සඳහා වෙනම බඳුන් තිබීම 
  • අදාළ නාගරික වෙබ් අඩවිය 
මීළඟට ගෙනයන අපද්‍රව්‍ය වලට සිදුවන දේ බලමු.
කොලපාට බඳුනේ හා වත්තේ කොලරොඩු  කොම්පෝස්ට් සැදීම පිණිස ඒ සඳහා වූ මධ්‍යස්ථාන වෙත යොමු කරයි. සාදන කොම්පෝස්ට් වසරේ වගා කටයුතු කරන කාලය වන අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා
නොමිලේ ලබා ගැනීමට වෙනම ස්ථාන පිහිටුවා ඇත. සාමාන්‍යයෙන් පවුලකට කියුබික් මීටරයක පස් ප්‍රමාණයක් ගෙන යා හැකිය. සමහර කොම්පෝස්ට් මධ්‍යස්ථාන ඒවා පැකට් කර විකිණීම ද සිදුකරයි.
නිල් බඳුනේ ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරන මධ්‍යස්ථාන වෙත යොමු කරයි. මෙහිදී අපද්‍රව්‍ය යන්ත්‍ර මගින් හෝ මිනිස් ශ්‍රමයෙන් වර්ගීකරණය කර වෙන් වෙන් ස්ථාන වෙත යොමු කරයි. මේවා බොහෝවිට පුද්ගලික සමාගම්ය. ඔවුහු ද්‍රව්‍ය එකිනෙකට අදාළ ලෙස ප්‍රතිචක්‍රීකරණය සිදුකරති.


ඉහත දෙකටම අයත් නැති garbage එහෙම නැත්නම් ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි කසල  බිම් පිරවීම (Landfilling) සඳහා යෙදවීම හෝ දහනය හෝ සිදුකරයි.
බොහෝ නගරවල සෞඛ්‍යාරක්ෂිත ලෙස බිම් පිරවීම භාවිතා වේ. මෙහිදී කරන්නේ ස්වාභාවිකව හෝ මිනිස් ක්‍රියාකාරකම් නිසා පොලවේ වලක් මෙන් ඇති ස්ථාන තෝරාගෙන ඉවතලන කසල තුනී ස්තරයක් ලෙස ඇතිරිමයි. ඉන්පසු එය වැසෙන සේ කුණු රහිත තුනී පස් තට්ටුවක් යොදයි. මෙලෙස තෝරාගත් බිම පිරෙන සේ මාරුවෙන් මාරුවට කසල හා පස් පුරවයි.
සාමාන්‍යයෙන් ජනයා වෙසෙන ප්‍රදේශයට ඇතින් ඇති බිම් තෝරා ගත්තත් ජනගහනය වැඩිවෙමින් නගර විශාලවිමේදී මෙම පුරවන ලද බිම් උද්‍යාන, කාර්මික උද්‍යාන හා ගොල්ෆ් පිටි සඳහා යොදා ගනියි. අසමතුලිත පොලවේ ස්වභාවය නිසා පිරවූ බිම් පහසුවෙන් හඳුනා ගත හැකිය.
මෙවැනි කසල දහනය කිරීම (Incineration) තවත් ක්‍රමයකි. ප්‍රතිචක්‍රීකරණයෙන් පසු ඉතිරිවන ද්‍රව්‍ය හා වෙනත් කසල, දහන මධ්‍යස්ථානවලදී තද තාපයට හසුකර බිඳ වැට්ටවිමෙන් පසුව දහනය කරයි. කසල ගිනිගැනීමෙන් ලැබෙන තාපය මගින් විශාල බොයිලර්වල ජලය උණුකර, ලැබෙන වාෂ්ප මගින් විදුලිය නිපදවා ගොඩනැගිලි උණුසුම් කිරීමට හෝ කර්මාන්තශාලාවල යන්ත්‍ර ක්‍රියා කරවීමට යොදාගනී. ඉතිරිවන ලෝහ කොටස් ප්‍රතිචක්‍රීකරණය කරන අතර, අළු බිම් පිරවීමට යොදයි.

ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය එකතු කරන ස්ථානවලින් භාරගෙන උපකරණ ගොනුකර අනුමත ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන වලට ප්‍රවාහනය කෙරේ. මේවා කසල සමග එක් නොවීමට වග බලා ගනියි.

අනතුරුදායක අපද්‍රව්‍ය  එකතු කිරීමෙන් පසු වෙනවෙනම වර්ග කෙරේ. ඒ එක එකක් අදාළ ප්‍රතිකර්ම සඳහා යොමුකෙරේ.
බැටරි: නැවත භාවිතයට ගත හැකි ලෝහ හා ප්ලාස්ටික් වෙන්කර ඒවා නැවත අලුත් කොටස් සැදීම සඳහා යොදවයි. ඇසිඩ් තනුක කර ස්පටිකිකරණය හෝ නව බැටරිවලට යොදවා ගැනීම හෝ කරයි. පසට එක්වීමක් සිදු නොකෙරේ.
තීන්ත වර්ග: මිනිස් ශ්‍රමය යොදවා වර්ග කරන තීන්ත අතරින් එක සමාන වර්ණ ඇති ඒවා නැවත තීන්ත සැදීමට යොදවයි. එලෙස ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි තීන්ත මගින් සිමෙන්ති හා හුණුගල් වලට ආදේශක සදයි. ඉතාම සුළු ප්‍රමාණයක් බිම් පිරවීමට යවයි.
ඔයිල් ෆිල්ටර් හා වාහන තෙල්: කුණු, රසායන ද්‍රව්‍ය හා ජලය ඉවත්කර අලුත් වාහන තෙල් ලෙස යොදාගනී.
ඖෂධ: කල්ගිය හෝ භාවිතා නොකළ ඖෂධ, නැවත මිලදී ගත් ඔසුසලට භාරදීමට මහජනයා උනන්දු කරවයි. එම ස්ථානවලින් හා භාරගන්න මධ්‍යස්ථානවලින් එකතු කරන ඖෂධ උදාසීන කර, විෂ නසා බිම් පිරවිමට යොමු කරයි.
Incinerator
කෘමිනාශක හා කෘෂි රසායන: පාලිත තත්ත්ව යටතේ ඉහල තාපයකට ලක්කරයි. රසායනිකයන් වෙනස්වූ පසු තව දුරටත් ඇති දුෂිත ද්‍රව්‍යත්, රසදිය, ෆියුරින් වැනි දේත් ඉවත්කර ඉතිරිවන අපද්‍රව්‍ය බිම් පිරවීමට යොදවයි.
පෙට්‍රල්, ඩිසල් වැනි ඉන්ධන: ක්‍රමානුකුලව එකට මිශ්‍රකර 'අපද්‍රව්‍ය ඉන්ධන' සාදයි. සිමෙන්ති පෝරණුවල ක්‍රියාකාරිත්වය සඳහා යොදාගන්නේ මෙම අපද්‍රව්‍ය ඉන්ධනයි.
ඉවිමෙන් පසු ඉවත්කරන තෙල්: ආපනශාලා අදින් ඉවත්කරන භාවිතා කළ තෙල් 100%කම ප්‍රතිචක්‍රීකරණය කරයි.
සිරින්ජ : ලෝහ තුඩු සහිත භාවිතාකළ සිරින්ජ වෙනම පෙට්ටිවල අසුරා දහන මධ්‍යස්ථාන වෙත යවයි.
ෆ්ලොරසන්ට් ටියුබ්: ප්‍රමාණය හා වර්ගය අනුව වෙනම අසුරා ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන වෙත යවයි. එහිදී මේවා තෙරපීමකට ලක් කර ඇලුමිනියම් වැසුම්, තඹ කොටස්, විදුරු, රසදිය අඩංගු කුඩු වෙන්කරයි. ඒවා වෙනම පිරිසිදු කර නිෂ්පාදන මධ්‍යස්ථානවලට යොමු කරයි.

මේ අනුව ඉවතලන කසල වලින් 50%කට වැඩි ප්‍රමාණයක් නැවත භාවිතා කල හැකි ලෙස ප්‍රතිචක්‍රීකරණය කරයි. පුද්ගලික ඉඩම්වල කොම්පෝස්ට් සැදීමට උනන්දු කරවයි.

     ප්‍රතිචක්‍රීකරණය කරන දේ                                                     නව ද්‍රව්‍ය
    ප්ලාස්ටික් භාජන හා පියන්                                           මල් බඳුන්, ප්ලාස්ටික් කණු, සෙල්ලම් බඩු
    පරණ පත්තර, සඟරා                                                    අලුත් පත්තර, සඟරා සඳහා කොළ
    ටෙලිෆෝන් ඩිරෙක්ටරි                                                 බිත්තර අසුරන උපකරණ
    ඇලුමිනියම් බිම කෑන්                                                   ඇලුමිනියම් ෂීට්
    ලෝහ බඳුන්                                                                ලෝහ ගොඩනැගිලි උපකරණ
    පරණ විදුරු බෝතල්                                                     අලුත් බෝතල්
    ප්ලාස්ටික් 2 L බෝතල්                                                කාපට් සඳහා නූල්, රෙදි වැල් බඳින ලණු, දවටන
    සිසිල් බිම පෙට්ටි (කුඩා)                                               කඩදාසි අත්පිස්නා, ටිෂු
    ඩෙනිම් ඇඳුම්                                                               පැන්සල් (ලී වෙනුවට)
    පැරණි වැසිකිලි කට්ටල                                                කොන්ක්‍රීට්, ගොඩනැගිලි උපකරණ






කසල නිපදවීම අඩුකරගැනීමට මහජනයා යොමු කිරීම තවත් වැදගත් පියවරකි. ප්‍රධානතම අරමුණක් වන්නේ landfilling සඳහා යන කසල ප්‍රමාණය අඩුකර ගැනීමයි. එය පුද්ගල වගකීමක් ලෙස සලකා ඒ පිලිබඳ දැනුවත් කරමින් මහජනතාව උනන්දු කෙරේ.

අපද්‍රව්‍ය නිපදවීම අඩුකිරීම සඳහා උපදෙස්:
  • භාණ්ඩ මිලදී ගැනීමේ ලැයිස්තුවක් සකස්කර අවශ්‍ය දේ පමණක් මිලට ගැනීම 
  • ප්‍රමාණවත් තරමට ඉවුම් පිහුම් කිරීම හා ආහාරයට ගත හැකි ප්‍රමාණය පිඟානට බෙදාගැනීම 
  • ඉතිරිවන ආහාර පසුව පරිහරණයට ශීත කිරීම 
  • අනවශ්‍ය ලෙස දවටන කිහිපයක අසුරා ඇති ද්‍රව්‍ය මිලට නොගැනීම 
  • හැකි සැමවිටම නැවත භාවිතා කළහැකි හෝ පිරවිය හැකි බඳුන් ගැනීම 
  • පාසලට, කාර්යාලයට ආහාරපාන ගෙනයාමට නැවත භාවිතා කළහැකි බඳුන් යොදාගැනීම  
  • භාණ්ඩ ගෙනඒමට රෙදි හෝ නැවත භාවිතා කළහැකි මලු භාවිතා කිරීම
  • ඉක්මනින් විනාශවන හෝ එකවරක් පමණක් භාවිතා කළහැකි භාණ්ඩවලට වඩා කල් තබාගත හැකි භාණ්ඩ මිලට ගැනීම
  • පරිගණකයේ සටහන් කල දේ මුද්‍රණයට පෙර සෝදුපත් බැලීම  
  • හැකිතාක් කඩදාසියේ දෙපසම භාවිතය  
  • නැවත භාවිතා කළහැකි හෝ අලුත්වැඩියා කළහැකි දේ ඉවත විසි නොකිරීම 
  • ඇඳුම්, සපත්තු, කාපට්, බොත්තම්, විසිතුරු භාණ්ඩ, පිඟන් භාණ්ඩ, ළදරු ප්‍රෑම්, ගෘහභාණ්ඩ  ආදී ඉවත්කරන දේ භාවිතා කළහැකි අයට අඩු මිලට හෝ නොමිලේ දීම. (මෙසේ භාවිතා කළ දේ ලබාගෙන අඩුමිලට විකුණන හෝ නොමිලේ බෙදාහරින ස්ථාන ඇත).
  • ඉවතලන රෙදි හා හම්වලින් නව නිෂ්පාදන සිදුකිරීම.

කසල කළමනාකරණය යනු යන්ත්‍ර සුත්‍රවලින් ඉවත හෙලා විසඳිය හැකි ප්‍රශ්නයක් නොවේ. එය සම්පත් නැවත යොදාගැනීම උදෙසා මහජනතාවගේ විනය හා ආකල්ප දියුණු කිරීම මගින් ජනතාව බලගන්වා ජයගත යුතු අභියෝගයකි.


උදව්:
ottawa.ca/en/residents/garbage-and-recycling
Region of Peel poster
Waste management guide and Collection schedule: City of Toronto 2017
www.greatsudbury.ca
www1.toronto.ca
www.comanco.com
www.waste-diversion.ca

6 comments:

  1. මේ ක්‍රමය බොහෝ දුරට එක්සත් රාජධානියේ ක්‍රමයට සමානයි..

    ඇත්තෙන්ම රජයෙන් මොන නීති දැම්මත් ඒවා පිළිපැදීමට ජනතාවගේ සහයෝගය විනය සහ නීති ගරුක බව තිබෙන්න ඕනේ..අපේ කවුන්ටි එකේ විනය කඩ කර රජයෙන් අනුමත ලෙස කුණු බැහැර නොකිරීම නිසා වරක් අපට නිවේදනයක් ආවා ඊළඟ වතාවේ දඩ ගසන බවට..

    අපට ලොකු බින් තුනක් තිබෙනවා..නිල් , කොළ, කළු..

    නිල් පාට එකට කාඩ්බෝඩ්, ප්ලාස්ටික්, විදුරු, කඩදාසි දාන්නේ..සම්පුර්ණයෙන්ම ප්‍රතිචක්‍රීය කරන දේවල් ලේබලය කියවලා දාන්න ඕනේ

    කොළ පාට එකට ගෙවත්තේ දිරන කොළ අතු, තණකොළ ආදී ස්වභාවික දේ පමණයි..ඒවා කෙලින්ම කොම්පොස් හදන සයිට් වලට ගෙනියනවා..

    කළු බින් එකට මේ දෙවර්ගයට අමතර වෙනත් කුණු

    පොඩි කිචන් කැඩී කියලා කුස්සියට බින් එකක් දෙනවා..එකට දිරන විශේෂිත බෑග් වර්ගයක් තුල (බයෝ බෑග්ස්) එළවලු පොතු, පරණ කෑම වගේ දේවල් ..ඒකත් ගෙනියන්නේ කොම්පෝස්ට් සයිට් වලට

    සතියේ එක දවසක නගර සභාවේ ලොරි ඇවිත් මේවා අරන් යනවා..අපේ දවස සඳුදා.එක එක පාට වල බින් ගෙනියන්නේ එක එක ලොරි වලින්..මේවා කලවම් කරන්නේ නැහැ.මේ හැම ලොරියක්ම යන්නේ සම්පුර්ණයෙන් වෙනස් අන්තයකට..

    ඊට අමතරව හැම නගරයකම යාඩ් එකක් තියෙනවා..ගෙවල්වල වෙනත් කුණු ඒ කියන්නේ බැටරි, විදුලි උපකරණ, ප්‍රින්ටර් වල තීන්ත කාටිලේජ, පරණ සපත්තු , රෙදි වගේ දේවල් එතනට ගෙනියන්න ඕනේ..ඒවායේ විශාල බින් තියෙනවා..උදව් කරන්න සේවලයෝ ඉන්නවා ඉනිමගක් දිගේ නැගලා මේ බින් වලට අපිම කුණු දන්නා ඕනේ..වැරදි ඒවාට නොදා හරි බින් එක මේ සේවකයෝ අපට පෙන්වනවා..

    කුණු නාය යාමට පස්සේ මන් ගුගල් කරලා බැලුවා අපේ ගෙවල් වලින් යන කුණු වලට මොකද වෙන්නේ කියලා..ප්‍රතිචක්‍රියකරණය සිදු වෙන තැන වල මේ කුණු ලොකු මැෂින් මැද්දෙන් යවලා නොගැලපෙන හැම කෑල්ලක්ම අරන් දානවා..

    අවසානයට ඉතිරි කුණුවේස්ට් ලෑන්ඩ් වලට දාන්නේ මිනිස් වාසයෙන් ඉතා ඈත පරිසරයක..නිතරම ඊළඟ අවුරුදු 50ට වගේ වෙස්ට් දන්නා තැන සැලසුම් ඇතිව පවතිනවා

    හැම සුළු දේම යලි භාවිතයට ගන්න ලොකු උත්සාහයක් ගන්නවා..මධ්‍යම රජයෙන් නගර සභා වලට මේ සඳහා මුදලක් පවරනවා. එ මුදලින් වැඩේ කිරීම නගර සභාවට භාරයි. ඔය වගේ ඇති විශාල සැලසුම් සහගත පටිපාටියක් සිදු වෙන්නේ..

    ගෝලීයකරණය අපේ රටටත් ඕනේ නම් මෙන්න වැඩ..නමුත් අපේ රටේ ගෝලීයකරණයවෙන්න හදන්නේ ඉතිහාසය ආගම ධර්මය අපේ අයිතීන් වනසලා..එහෙම කරන මුණ පුරා බෙලෙක් එල්ල ගත්තවුන් සල්ලි වලට NGO එක්ක..උන්ව අල්ලලා දාන්න ඕනේ කුණු කන්දකටම..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රේණු තව තොරතුරු එකතු කළාට. මේක සැලසුම් සහගත පටිපාටියක් කියන එක තමයි වටහාගන්න ඕනේ.
      අන්තිම යෝජනාවට නම් මාත් එකඟයි.

      Delete
  2. හොඳ සවිස්තරාත්මක ලිපියක් . මමත් ලිව්වා අප කුඩා කාලේ කොම්පොස්ට් හදපු හැටි ගැන ...අපේ කුණුවල කියලා ලිපියක්

    ReplyDelete
    Replies
    1. කාගේත් වගකීමක් දන්නා දේ බෙදාගනිමත්, ක්‍රියාත්මක කිරීමත්. අපි පොඩිකාලේ නොදිරන කසල කියල එකක් තිබුනේ නැති ගානයි. ඉඩ තියන හැමෝම කොම්පෝස්ට් හදන එකනම් කරන්නම ඕනේ. මේ රටවලත් ඒ සඳහා උනන්දු කරනවා.

      Delete